නවතම ප්‍රවෘත්ති

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත සහ ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය බ්‍රේල් ක්‍රමයට සැකසීම

news-banner

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ ඒකාබද්ධව 2023 වර්ෂයේ ළමා ආරක්ෂාව පිළිබඳව විශ්ව විද්‍යාල  ශිෂ්‍ය තානාපති වැඩසටහන ( University Student Ambassador National Programme on Child Protection) හඳුන්වාදෙන ලදි. මෙරට ළමා ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් තිරසර ස්වෙච්ඡා සේවයක් ලෙස විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව  සඳහා රාජ්‍ය විශ්ව විද්‍යාල 17හි උපාධි අපේක්ෂකයන් වෙනුවෙන් මෙම වැඩසටන සඳහා ලියාපදිංචිය විවෘත කර ඇත. මේ යටතේ විශ්ව විද්‍යාල මට්ටමින් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශ වල පාසල් සමඟ සම්බන්ධීකරණය වෙමින් පාසල් තුළ ළමා ආරක්ෂාව පිළිබඳ පාසල් ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම , විශේෂ ස්වෙච්ඡා සේවය (Special Volunteer Service), හරහා ප්‍රදර්ශන හා ජංගම සේවා සඳහා සහභාගීවීම, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සංවිධානය කරන දින සැමරීම් සම්බන්ධ උත්සව (Events) ආදිය සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සමඟ සම්බන්ධීකරණය වෙමින් කටයුතු කිරීමට මෙමගින් අවස්ථාව ලබාදේ.

විශේෂ ශිෂ්‍ය තානාපති සේවය යටතේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට සම්බන්ධව සේවය කල ශිෂ්‍ය කණ්ඩායම් නියෝජනය කරමින් දෘෂ්‍යාභාධිත විශ්ව විද්‍යාල ශිෂ්‍ය තානාපතිවරයෙකු වන කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය තානාපති සේමාල් කන්නන්ගර සහ කොළඹ විශ්වවිද්‍යාලයේ, ගම්පහ වික්‍රමාරච්චි විශ්ව විද්‍යාලයේ සහ කැලණිය විශ්ව විද්‍යාලයේ  ශිෂ්‍ය තානාපතිවරුන් සම්බන්ධවෙමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මාධ්‍ය හා තොරතුරු ඒකකයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත  සහ ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය බ්‍රේල් ක්‍රමයට සැකසීම සිදුකරන ලදි. මේ අනුව දෘශ්‍යාභාධිත  ළමුන් සඳහා ළමා අරක්ෂක අධිකාරිය සහ ඔවුන් වෙනුවෙන් සම්පාදනය කල ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ  පිළිබඳ  මූලික දැනුම ලබාදීමට අපේක්ෂා කෙරේ. මෙම බ්‍රේල් පිටපත් පළමුවරට එළි දැක්වීම 2026 සැප්තැම්බර් මස 29 දින ළමා ආරක්ෂාව පිළිබඳ ප්‍රථම ශිෂ්‍ය තානාපති ජාතික සමුළුවේදී සිදුකරන ලදි.  ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ගරු සභාපති තුමිය වන විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ මැතිනිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා වෙත පිළිගන්වන ලදී.