හැඳින්වීම, කාර්යයන් හා කර්තව්‍යයන්   


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2412/08 හා 2024.11.25 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය ස්ථාපිත විය. මෙම අමාත්‍යාංශය කාන්තා සහ ළමා කටයුතු අංශය යන අංශ දෙක යටතේ ක්‍රියාත්මක වේ.

අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යයන් හා කර්තව්‍යයන් පහත පරිදි වේ.

1. රජය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික ප්‍රතිපත්පතීන් මත පිහිටා කාන්තා හා ළමා කටයුතු විෂයයන්ට සහ ඊට අදාල  දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථාවන්හි විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති, උපායමාර්ග, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, ක්‍රියාත්මක කිරීම, පසු විපරම් කිරීම හා ඇඟයීම.

2. අමාත්‍යංශ විෂය පථයට අයත්වන  මහජන සේවාවන් කාර්යක්ෂමව හා මහජන හිතකාමී අයුරින් ලබා දීම.

3. නාස්තිය හා දුෂණය පිටු දකිමින් අමාත්‍යංශයේ කාර්යභාරය ඉටු කිරීම සහතික කිරීමට ඉවහල් වන ආකාරයට නවීන කළමනාකරණ ක්‍රම හා තාක්ෂණය යොදා ගනිමින් සියලු ක්‍රම සහ විධි ප්‍රතිසංස්කරණය කිරීම.

4. කාන්තා ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම.

5. රාජ්‍ය කටයුතුවලදි තීරණ ගැනීම සහ දේශපාලන ක්ෂේත්‍රය තුළ කාන්තාවන්ගේ සහභාගීත්වය සහ නියෝජනය වැඩි කිරීම සඳහා ක්‍රමෝපායන් සැකසීම සහ ක්‍රියාත්මක කිරීම.

6. ගැටුම්වලින් හා දරිද්‍රතාවයෙන් විපතටපත් කාන්තාවන් සවිබලගැන්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.

7.  කාන්තා හා ළමා හිංසනය වැළැක්වීම සදහා වන නීති හා ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම හා ක්‍රියාත්මක කිරීම.

8. ලිංගිකත්වය හා ස්ත්‍රි පුරුෂ සමාජභාවය මත කාන්තාවන්ට වෙනස් කොට සැලකීම වළක්වාලීම සඳහා පවත්නා නීති සංශෝධනය කර නව නීති හා ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම.

9. කාන්තා මූලික ගෘහ ඒකක සවිබලගැන්විම සදහා ප්‍රතිපත්ති හා වැඩසටහන් සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම.

10. කාන්තා හා ළමා කටයුතු වලට අදාළ තිරසාර සංවර්ධන අභිමතාර්ථ ඉටුකරගැනීම.

11. දේශපාලන ව්‍යුහයන් තුළ ස්ත්‍රීන්ගේ නියෝජනය අවම වශයෙන් 50% ක් දක්වා ගෙන ඒමට අවශ්‍ය නීති සහ ප්‍රතිපත්ති ක්‍රමිකව හඳුන්වාදීම.

12. ආර්ථව දරිද්‍රතාව අවසන් කිරීම වෙනුවෙන් අවශ්‍ය බදු සහන, මුල්‍ය සහ අනෙකුත් පහසුකම් ලබාදීම.

13. ස්ත්‍රීන්ගේ වැටුප් නොලබන සුරැකුම් ශ්‍රමයේ බර අඩුකිරීම.

14. ශාරීරික හා මානසික වශයෙන් නි‍රෝගී දරුවන් ඇති කරලීමේ අභිප්‍රායෙන් මුල් ළමා විය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ප්‍රතිපත්ති හා වැඩසටහන් සම්පාදනය කිරිම.

15. අනාරක්ෂිත තත්ත්වයේ සිටින දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සම්මතයන්ට ගැලපෙන සේ වැඩසටහන් හා ව්‍යාපෘති සැකසීම හා ක්‍රියාත්මක කිරීම.  

16.   ළමා ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම.

17.   ළමා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනය කිරීම.

18.  සෙවන සරණ කැපකරු මව්පිය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම.

19.  සුවිශේෂී කුසලතා ඇති දරුවන්ගේ එම කුසලතා ඔප්නංවා ගැනීම සඳහා මූල්‍යාධාර සැපයීම.

20.  ස්ත්‍රීන්ට සහ දරුවන්ට වෙනස්කොට සළකන හා පීඩාවට ලක්කරන විශේෂ නිති සංශෝධනය කිරිම.