Latest News

ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට එරෙහි දින 16 ක්‍රියාකාරීත්වයේ ජාතික සමාරම්භක උළෙල සහ පාගමන අද සවස 4.30 ට කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන්

news-banner

කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව ක්‍රියාත්මක වන ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට එරෙහි දින 16 ක්‍රියාකාරීත්වයේ 2026 ජාතික සමාරම්භක උළෙල අද (25). පස්වරු 4.30ට කොළඹ තුරඟ තරග පිටියෙන් ඇරඹේ.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) ශ්‍රී ලංකා කාර්යාලය, එක්සත් ජාතීන්ගේ සහෝදර ආයතන සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට එරෙහි සංසදය එක්ව සංවිධානය කරන මෙම ජාතික වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා සහභාගී වීමට නියමිතය.

 

“#JusticeIsMyRight: UNITE Towards Ending GBV” (යුක්තිය මගේ අයිතියයි: ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය අවසන් කිරීමට එක්වෙමු) යන තේමාව යටතේ පැවැත්වෙන මෙම වැඩසටහනට රජයේ ඉහළ පෙළේ නියෝජිතයන්, අධිකරණ හා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ප්‍රධානීන්, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන්, සෞඛ්‍ය වෘත්තිකයන්, සිවිල් සමාජ සංවිධාන, තරුණ ජාල සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන් ඇතුළු 500කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතය.

වැඩසටහනේ පළමු අදියර ලෙස පස්වරු 4.30ට කොළඹ තුරඟ තරග පිටියෙන් ආරම්භ වන #JusticeIsMyRight ජාතික පාගමන කොළඹ මහ නගර සභා නගර ශාලා පරිශ්‍රය දක්වා ගමන් කිරීමට නියමිතය.

අනතුරුව පස්වරු 5.20 සිට රාත්‍රී 7.30 දක්වා කොළඹ මහ නගර සභා පරිශ්‍රයේදී ප්‍රධාන උත්සවය සහ ඉහළ පෙළේ විද්වත් සංවාදය පැවැත්වේ. හිංසනයට ලක්වන කාන්තාවන්ට යුක්තිය ලබාගැනීමේදී මුහුණදීමට සිදුවන බාධාවන් පිළිබඳව අවධානය යොමු කරන වේදිකා නාට්‍යයක් සහ “ශ්‍රී ලංකාවේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට ලක්වූවන්ට යුක්තිය ඉටුකර ගැනීමට ඇති බාධා ජයගැනීම” මැයෙන් විද්වත් සංවාදයක් ද මෙහිදී පැවැත්වීමට නියමිතය.

 

එමෙන්ම, හිංසනයට ලක්වූවන් සහ බිම් මට්ටමේ නිලධාරීන් දිවයින පුරා පවතින සත්‍යාපිත උපකාරක සේවාවන් වෙත සම්බන්ධ කිරීම අරමුණු කරගත් GBV Digital Service Directory ඩිජිටල් සේවා නාමාවලිය නිල වශයෙන් දියත් කිරීම ද මෙහිදී සිදු කෙරේ.

හිංසනයක් සිදුවන අවස්ථාවක ඒ පිළිබඳව දැනුවත් වන අවට සිටින පුද්ගලයන්ගේ මැදිහත්වීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් #ItsABigDeal ජාතික සමාජ හා චර්යාත්මක වෙනස්කම් සඳහා වූ සන්නිවේදන වැඩසටහනේ මංගල දර්ශනය ද මෙහිදී පැවැත්වේ.

හිංසනයෙන් තොර සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් සහයෝගීතාව පළ කිරීමේ සංකේතයක් ලෙස කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ල තැඹිලි පැහැයෙන් ආලෝකමත් කිරීමෙන් වැඩසටහනේ කටයුතු අවසන් වීමට නියමිතය්‍්‍්‍ර්‍රර