නවතම ප්‍රවෘත්ති
අර්ථ යථාර්ථයක් වූ වගයි
අද (15) දින 2025 ජාතික අයවැය මගින් ආයතනික රැකවරණය හෝ භාරකාරත්වයේ සිටින ළමුන් සහ වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාව ලබා දීම වෙනුවෙන් නිර්මාණය කළ "අර්ථ" වැඩසටහන "ඔබ අයිති රටටයි - මුළු රටම ඔබටයි" යන්න තේමා කරගනිමින් ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සෙත්සිරිපාය පරිශ්‍රයේ දී එළිදක්වන ලදී.
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රමුඛ රජයේ "දරුවන් සුරක්ෂිත කිරීම සහ සවිබල" ගැන්වීමේ සංකල්පය පරිදි වෙන් වුනු මෙම ප්‍රතිපාදන,
කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතාගේ මගපෙන්වීම යටතේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ එහි අනුබද්ධිත ආයතනයක් වන පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් මෙම මෙහෙයුම් ක්‍රියාවලිය සකස් කර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලබා ගන්නා ලදී.
ඒ අනුව ආයතනගත රැකවරණයේ, භාරකාරත්වයේ හෝ වීදි ආශ්‍රිතව අනාරක්ෂිත තත්ත්වයේ පසුව ආයතනගත රැකවරණය වෙත යොමු කළ දරුවන් සඳහා රු: 5,000/= බැගින් වූ මාසික දීමනාවක් දරුවාට වයස අවු. 18 සපිරෙන තුරු ලබා දීම සිදු කෙරේ. එම රු:5,000/= ක මුදලින් රු: 3,000/= ක් දරුවන්ගේ සුබසාධනය සඳහා භාරකරුවන් වෙත ලබා දෙන අතර ඉතිරි 2,000/= මුදල දරුවාගේ නමින් ආරම්භ කෙරෙන ගිණුමක මාසිකව කැන්පත් කරනු ලැබේ.
මෙම කර්තව්‍යයට නිල බැංකු සහකරු ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව සම්බන්ධ වන අතර ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් යාන්ත්‍රණය ලෙස පළාත් පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, සමාජ සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු තවත් අංශ රාශියක් සහභාගී වේ.
මෙම "අර්ථ" එළිදැක්වීමේ සමාරම්භක වැඩසටහනට ගරු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා, ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ගරු අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ගරු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මිය, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය, අග්‍රාමාත්‍ය ලේකම්තුමා ප්‍රමුඛ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන්, සහ අමාත්‍යාංශ සහ පළාත් නිලධාරීන්, කලාකරුවන්, පාළාත් නවය නියෝජනය කරමින් ප්‍රතිලාභීන් සහ මාධ්‍යවේදීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
.