නවතම ප්‍රවෘත්ති

වෛරයෙන් තොර විවාදයක්

news-banner

පසුගිය (08) වන දින පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා පාර්ලිමේන්තු (CWP) සමුළුව තුළ පැවති "DebateNotHate: Not Accepting Abuse as an Outcome of Free Speech" වැඩමුළුව සඳහා සාකච්ඡා මණ්ඩල  සාමාජිකාවක් ලෙස කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය, ශ්‍රී ලාංකා පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ සභාපති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහභාගි විය.

ගර්න්සි හි  පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගරු Sasha Kazantseva-Miller මහත්මිය සහ බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්හි ව්‍යවස්ථාදායක සභාවේ කතානායක Corine N. George-Massicote අනෙකුත් එහි සාමාජිකාවන් විය.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන් හි "භාෂණයේ නිදහස" යනු මූලික ගුණාංගයකි.

නමුත් හිංසනය, පහත හෙළීම, තර්ජනය කිරීම සහ බිය වැද්දවීම සඳහා පලිහක් ලෙස එය අවභාවිතා වෙමින් පවතී.

පොදුරාජ මණ්ඩලීය රටවල් තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සහ නියෝජිතවරියන් ඉලක්ක කර ගනිමින් ස්ත්‍රී විරෝධී ආක්‍රමණශීලීතාවය ක්‍රියාත්මක වීම මගින් ඵලදායී දේශපාලන සංවාද මගහැරී යාම කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය අධෛර්යමත් මේම සහ ඒ තුළ ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක්වීම ද සිදුවේ.

එහි අහිතකර ප්‍රතිඵල  පුරවැසියන්ගේ අයිතිවාසිකම් සඳහා ද සෘජුවම බලපෑම් කරයි.

ඊට හේතුව පුරවැසියන් වෙනුවෙන් තීරණ ගන්නා සහ ඔවුන් වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය වන ස්ථානයන් තුළ කාන්තාවන් නියෝජනය නොවීම සහ අවම වීම නිසා එවා හුදෙකලා දෘෂ්ටියකින් ගනු ලබන තීරණ සහ ක්‍රියාත්මක කිරීමේදී අසාර්ථක වන තීරණ බවට පත්වීමයි.

මේ වන වන විට ඩිජිටල් කරණය අප දෛනික ජීවිතයේ කොටසක්ව ඇති අතර එම ඩිජිටල් අවකාශය සැමට ආරක්ෂිත විය යුතුය එබැවින් 2024 එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වාර්තාව විසින් තාක්ෂණය හරහා කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට සිදුවන හිංසනය මෙසේ විවරණය කර ඇත.

“Any act that is committed, assisted, aggravated, or amplified by the use of information communication technologies or other digital tools that results in or is likely to result in physical, sexual, psychological, social, political, or economic harm, or other infringement of rights and freedoms.”

ඊට අමතරව CPA/IPU/AIPA විසින් කළ හැදෑරීමකට අනුව (https://www.cpahq.org/news/2025_03-ipu-gender-report/) ආසියානු පැසිෆික් කලාපයේ කාන්තා මන්ත්‍රීවරියන් 60% කට ආසන්න ප්‍රමාණයක්  ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ මාර්ගත හිරිහැරවලට මුහුණ දී ඇති බවට වාර්තා වී ඇත.

දේශපාලනය හා පාර්ලිමේන්තු අවකාශයන් තුළ කාන්තාවන් කෙරෙහි එල්ල වන වෛරය සහ පීඩාවන්ට එරෙහිව ඵලදායී සාකච්ඡාවක අවශ්‍යතාවය හඳුනා ගනිමින් ඒ සඳහා අවකාශයක් සකස් කිරීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සමුළුව තුළ මෙම වැඩමුළුව සංවිධාන කර තිබුණි.

මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින්,

කාන්තාවන් වෙනුවෙන් ගෞරවාන්විත සහ සුරක්ෂිත දේශපාලන වේදිකාවක් තහවුරු කිරීමට

1) ජාත්‍යන්තරව පිළිගත් ආචාර ධර්ම සංග්‍රහයක් නිර්මාණය කර එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කාර්යය මණ්ඩල වෙත හඳුන්වාදීම.

2) ආයතනික සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ විනිවිද භාවය ආරක්ෂා කිරීම සඳහා හොඳ පුරුදු පද්ධතියක් බෙදාහැරීම.

3) සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කාර්යමණ්ඩල වෙත ස්ත්‍රී පුරුෂ සමාජභාවී සහකම්පනය වර්ධනය කිරීම, සංවේදීතාවයකින් සහ සංයමයකින් කටයුතු කිරීම උදෙසා අනිවාර්ය පුහුණු වැඩසටහන් පැවැත්වීම.

වැනි ක්‍රියාමාර්ගවලට ඉතා කඩිනමින් යොමු විය යුතු බව ගරු අමාත්‍යවරිය විසින් යෝජනා කළාය.

එම යෝජනා පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා මන්ත්‍රීවරියන්ගේ සහ නියෝජිතවරයන්ගේ පැසසුමට ලක්වූ අතර ශ්‍රී ලංකාව ලෙස පොදුරාජ්‍ය මණ්ඩලී කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සමග කාන්තාවන්ට හිතකර පීඩනයකින් හෝ හිංසනයෙන් තොරව දේශපාලන යෙදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා එකට එක්ව කටයුතු කරන බවද අමාත්‍ය සරෝජා පොල්රාජ් ඔවුන් හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.