නවතම ප්‍රවෘත්ති
ගාල්ල දිස්ත්‍රික්කයේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් සහ පෙර පාසල් ගුරුවරුන් සඳහා ආරක්ෂක සයිබර් විධානය මඟින් පුළුල් සයිබර් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ගාල්ල දිස්ත්‍රික්කයේ පෙර පාසල් ගුරුවරුන් සඳහා පුළුල් සයිබර් දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආරක්ෂක සයිබර් විධානය (Defence Cyber Command – DCC) විසින් 2026 අගෝස්තු මස 25 වන දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී.
ළමා ආරක්ෂාව සහ කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය ඩිජිටල් පරිසරය සමඟ වඩාත් සමීපව බැඳී පවතින වර්තමාන යුගයක, කාන්තාවන් සහ ළමුන් සමඟ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් සහ පෙර පාසල් ගුරුවරුන් අතර සයිබර් තර්ජන පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සහ ආරක්ෂිත ඩිජිටල් භාවිතයන් ප්‍රවර්ධනය කිරීම මෙම වැදගත් ධාරිතා සංවර්ධන වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ උපායමාර්ගික මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලද අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ සම්පත්දායකත්වය මේ සඳහා යොදා ගන්නා ලදී. ඩිජිටල් යුගය තුළ කාන්තාවන් සහ ළමුන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය දැනුම හා ප්‍රායෝගික කුසලතා ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් වෙත ලබාදීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය.
සයිබර් අවකාශය තුළ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් පැවති මෙම වැඩසටහන සඳහා දිස්ත්‍රික් ළමා ආරක්ෂණ නිලධාරීන්, ප්‍රාදේශීය ළමා ආරක්ෂණ නිලධාරීන්, දිස්ත්‍රික් මනෝසමාජීය නිලධාරීන්, මුල් ළමාවිය සංවර්ධන සහකාර නිලධාරීන්, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් සහ සහකාර නිලධාරීන්, වනිතා සංවර්ධන නිලධාරීන්, වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර නිලධාරීන් උපදේශන නිලධාරීන් සහ උපදේශන සහකාර නිලධාරීන් සහ පෙර පාසල් ගුරුවරුන් ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ අදාළ රාජ්‍ය නිලධාරීන් 140කට අධික පිරිසක් සහභාගී වූහ.
සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ මඟපෙන්වීම යටතේ පැවති පූර්ණ දිනක වැඩසටහන තුළින්, නවීන සයිබර් තර්ජන සහ ඩිජිටල් ආරක්ෂණ ක්‍රමවේද පිළිබඳ න්‍යායාත්මක දැනුම මෙන්ම ප්‍රායෝගික අවබෝධයක් ද සහභාගිවන්නන් වෙත ලබා දෙන ලදී.
වැඩසටහන යටතේ පැවති දේශන සහ ප්‍රායෝගික සැසි පහත පරිදි විය:
Cyber Threat Landscape – කර්නල් දර්ශන මුතුගල
Digital Deception – ලුතිනන් කමාන්ඩර් (IT) සමිත් තිසේරා
Cyber Security Demonstration – ලුතිනන් කමාන්ඩර් (IT) සමිත් තිසේරා, ෆ්ලයිට් ලුතිනන් නිශාන්ත කුමාර සහ ලාන්ස් කෝප්‍රල් තිලකරත්න KDCS
Cyber Crimes – WSI දිනූෂා කරියවසම්
Cyber-Related Laws – මේජර් සඳුන් ගුණවර්ධන
Risk Mitigation and Management – කර්නල් දර්ශන මුතුගල
Social Media Best Practices and Device Security – මේජර් චතුර පතිරණ
මෙම වැඩසටහන මඟින් සයිබර් තර්ජන හඳුනා ගැනීම, පුද්ගලික සහ ආයතනික තොරතුරු ආරක්ෂා කිරීම මෙන්ම කාන්තාවන් සහ ළමුන් සඳහා වඩාත් ආරක්ෂිත ඩිජිටල් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වැදගත් දැනුම සහ ප්‍රායෝගික අවබෝධය සහභාගිවන්නන් වෙත ලබා දෙන ලදී.
මෙවැනි වැඩසටහන් හරහා ආරක්ෂක සයිබර් විධානය ශ්‍රී ලංකාව පුරා සයිබර් ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ ඩිජිටල් ආරක්ෂාව පිළිබඳ මහජන හා රාජ්‍ය අංශයේ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා වන ජාතික ප්‍රයත්නයන්ට අඛණ්ඩව සහාය ලබා දෙයි.