නවතම ප්රවෘත්ති
ජාත්‍යන්තර කාන්තා දිනය
ජාත්‍යන්තර කාන්තා දිනය
ජාත්‍යන්තර කාන්තා දිනයකට මූලාරම්භය සිදුවූයේ කම්කරු ව්‍යාපාරය හරහා 1908 වර්ෂයේ දී, ඇඟළුම් ක්ෂේත්රයේ කාන්තාවන් 15,000ක් තමන් වැඩ කරන පැය ගණන කෙටි කර ගැනීමටත්, වැටුප් වැඩි කර ගැනීමටත්, ඡන්ද අයිතිය ලබා දෙන ලෙසත් ළමා ශ්රමයට එරෙහිවත් ඉල්ලුම් කරමින් නිව්යෝර්ක් නගරයේ පැවැත්වූ පාගමනක් හේතුවෙනි.
ඉන් අනතුරුව 1909 වර්ෂයේ දී ඇමරිකානු සමාජවාදී පක්ෂය විසින් පළමු කාන්තා දිනය ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඉන් වසරකට පසු, එනම් 1910 දී කෝපන්හේගන් හි පැවති වැඩ කරන කාන්තාවන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ දී කොමියුනිස්ට් ක්‍රියාකාරිණියක සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්ලාරා සෙට්කින් නැමැති කාන්තාව විසින් කාන්තා දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත් කළ යුතු බව ප්‍රකාශයට පත් කරන ලදී. රටවල් 17ක කාන්තාවන් 100 දෙනෙකු එම යෝජනාව සමුළුවේදී ඒකමතිකව අනුමත කරනු ලැබීය. ජාත්‍යන්තර කාන්තා දිනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල පිළිගැනීමක් ලැබෙනුයේ 1977 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම දිනය සැමරීමත් සමඟය. එහි පළමු සැමරුම් තේමා පාඨය වූයේ ´´අතීතය සමරමින්, අනාගතය සැලසුම් කරමින් සිටිමු´´ යන්නයි.
2011 වර්ෂයේ දී ජාත්‍යන්තර කාන්තා දින ශතක සැමරුම සමරනු ලැබීය. ඒ අනුව 2024 වර්ෂය යනු 113 වන කාන්තා දින සැමරුම් වර්ෂයයි.
වෙනත් බොහෝ දින සැමරුම් මෙන් නොව කාන්තා දිනය ලොව පුරා සෑම රටකටම එකම පොදු දිනයක් ලෙස මාර්තු 8 වන දින යොදා ගෙන සැමරුම් පවත්වනු ලබයි. ජනවර්ගය, භාෂාව, සංස්කෘතිය ආදී බෙදීමක් ඒ තුල නොවන අතර, කාන්තාව උදෙසා ඇති බාධක, අභියෝග ජය ගැනීම සඳහා සියළු කණ්ඩායම් ඒකරාශීව කටයුතු කරනු ලබනවා.
ශ්‍රී ලංකාවේ මුල් වරට ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවයක් පවත්වනු ලැබූවේ 1978 වර්ෂයේ දීය. එතැන් පටන් වාර්ෂිකව විවිධ තේමාවන් ඔස්සේ ජාතික සැමරුමක් හා සමගාමී වැඩසටහන් මාලාවක් ඔස්සේ කාන්තාව බල ගැන්වීම සඳහා මෙම අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. 2024 ජාත්‍යන්තර කාන්තා දින තේමාව ´කාන්තා ආයෝජනය තුළින් වේගවත් ප්‍රගතියක්´ වන අතර, ඊට සමගාමීව ජාතික තේමාව වශයෙන් ´ඇයට ශක්තිය - දැයට ප්‍රගතිය´ යන්න යොදා ගෙන තිබේ.
ජාතික සැමරුම් උත්සවය 2024 මාර්තු 08 දින වෝටර්ස් එජ් පරිශ්‍රයේ දී ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර, ඊට සමගාමී වැඩසටහන් රාශියක් මාර්තු 08 දිනට පෙර සහ පසු දිනවලදී කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරනු ලබයි.
- 2024 මාර්තු 08 -