නවතම ප්‍රවෘත්ති

ඩිජිටල් රාජ්‍ය පාලනයක් කරා අප තැබූ සාර්ථක පියවරක්!

news-banner

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ක්‍රියාත්මක වන ඩිජිටල්කරණ වැඩසටහන යටතේ තවත් සුවිශේෂී පියවරක් තබමින්, අමාත්‍යාංශයේ ලේඛන කළමනාකරණ පද්ධතිය (Document Management System - DMS) 2026 ජූලි 31 වන දින නිල වශයෙන් ආරම්භ කරන ලදී.

අපගේ පරිපාලන පද්ධතිය වඩාත් සක්‍රිය සහ කාර්යක්ෂම කිරීමට සැලසුම් කර ඇති මෙම ඩිජිටල්කරණ පියවර මගින් ලේඛන හුවමාරු ක්‍රියාවලිය පහසු වන අතර, රාජකාරි ලිපිගොනු සහ ලිපි හුවමාරුව ක්ෂණිකව නිරීක්ෂණය (real-time tracking) කිරීමට මෙන්ම අමාත්‍යාංශයේ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට ද මග පාදයි.

මෙම පද්ධතිය රජයට කිසිදු මුදල් වැය කිරීමකින් තොරව සම්පූර්ණයෙන්ම නොමිලේ නිර්මාණය කර අතර අපගේ පුහුණු සහ සංවර්ධන වැඩසටහන යටතේ අමාත්‍යාංශය තුළදීම දක්ෂ විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින් විසින් මෙය නිර්මාණය කර ඇත.

තවද මෙම පද්ධතිය වඩා ආරක්ෂිත සහ ස්වාධීන වන අතර අමාත්‍යාංශයට අයත් කැපවූ අභ්‍යන්තර සේවාදායකයේ (internal server) ඉතා ආරක්ෂිතව සටහන් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය අමාත්‍යාංශයේ ලේකම්තුමියගේ දූරදර්ශී මගපෙන්වීම යටතේ සහ ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ ජනරාල්වරියගේ නායකත්වයෙන් යුතුව ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරියගේ සෘජු අධීක්ෂණය යටතේ සාර්ථකව නිම කරන ලදී.

තමන්ගේ මහන්සිය, බුද්ධිය සහ තාක්ෂණික දැනුම කැප කරමින් මෙම ජයග්‍රහණය සැබෑවක් බවට පත් කළ අපගේ කැපවූ ව්‍යාපෘති කණ්ඩායමට අපගේ හදපිරි ස්තුතිය සහ සුබ පැතුම් පිරිනමන්නෙමු. එමෙන්ම මෙම කර්තව්‍යය සාර්ථක කර ගැනීමට නොපසුබට සහයෝගය ලබා දුන් අංශ සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන්ට ද අපගේ ගෞරවනීය ස්තුතිය හිමිවේ.