නවතම ප්‍රවෘත්ති

ජාතික ඩිජිටල් ආරක්ෂාව ශක්තිමත් කරමින් ආරක්ෂක සයිබර් විධානය මගින් පවත්වන ලද දෙවන සයිබර් ආරක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහන- 2026 ජනවාරි 30

news-banner

ජාතික ඩිජිටල් ආරක්ෂාව ශක්තිමත් කිරීමේ ක්‍රියාකාරී පියවරක් ලෙස, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරියගේ ඇරයුමෙන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ ජාතික බුද්ධි ප්‍රධානීගේ උපදෙස් මත, ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක සයිබර් විධානය (DCC) විසින් මෙහෙයවනු ලැබූ දෙවන සයිබර් ආරක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහන 2026 ජනවාරි 30 වන දින පවත්වන ලදී. මෙය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය, ජාතික මට්ටමේ නිලධාරීන් සහ ගම්පහ දිස්ත්‍රික් කාන්තා හා ළමා සංවර්ධන ඒකකවල නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කර තිබුණි.

බත්තරමුල්ල, සෙත්සිරිපාය 6 වන මහලේ ශ්‍රවණාගාරයේදී පැවැත්වූ මෙම වැඩසටහන, "ක්ලීන් ශ්‍රී ලංකා" ජාතික වැඩපිළිවෙළට සමගාමීව උපායමාර්ගිකව සැලසුම් කර තිබුණි. ජාතික සංවර්ධනයේ සහ ඩිජිටල් අඛණ්ඩතාවයේ වැදගත් අංගයක් ලෙස ආරක්ෂිත සහ ඔරොත්තු දෙන ඩිජිටල් පරිසරයක් පවත්වාගෙන යාමේ වැදගත්කම මෙම සහයෝගීතාවය මගින් මනාව ඉස්මතු කෙරිණි.

දිනෙන් දින සංකීර්ණ වන ඩිජිටල් අවකාශය තුළ ආරක්ෂිතව කටයුතු කිරීම සඳහා අවශ්‍ය දැනුම හා කුසලතා රාජ්‍ය අංශයේ නිලධාරීන්ට ලබා දීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය. මෙහි විෂය මාලාව තුළ වත්මන් සයිබර් තර්ජන, නැගී එන ඩිජිටල් අවදානම්, ඩිජිටල් ස්වස්ථතාව (Digital Hygiene) සහ තොරතුරු සුරක්ෂිත කිරීමේ හොඳම භාවිතයන් පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. මීට අමතරව, සුරක්ෂිත විද්‍යුත් පාලන (e-governance) යටිතල පහසුකම්, ශ්‍රී ලංකාවේ සයිබර් අවකාශයට අදාළ නීතිමය සහ ප්‍රතිපත්තිමය රාමුව පිළිබඳව අවධානය යොමු කළ අතර, සැබෑ ලෝකයේ සයිබර් තර්ජන සහ ඒවා මර්දනය කිරීමේ සාර්ථක උපාය මාර්ග පිළිබඳ ප්‍රායෝගික නිරූපණයන්ගෙන් වැඩසටහන අවසන් විය.

ආරක්ෂක සයිබර් විධානයේ අධ්‍යක්ෂවරයා ඇතුළු තාක්ෂණික විශේෂඥ කණ්ඩායමක් විසින් මෙම පුහුණුව මෙහෙයවන ලදී. ආයතනික සහයෝගීතාව විදහා දක්වමින්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් එහි නිලධාරීන් පිරිසක් සහ සැලසුම් හා තොරතුරු තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂ සැලසුම්/ අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) ද මෙම අවස්ථාවට එක් වූහ. මෙම මැදිහත්වීම ජාතික ඩිජිටල් සම්පත් ආරක්ෂා කිරීමට සහ සියලුම අමාත්‍යාංශ පුරා තොරතුරු පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව සහ ආරක්ෂාව තහවුරු කිරීමට රජය දක්වන ඒකාබද්ධ කැපවීම පිළිබිඹු කරන්නකි.