නවතම ප්රවෘත්ති
දරුවන්ට එරෙහි හිංසනය තුරන් කිරීම සඳහා වන පළමු ගෝලීය අමාත්‍ය සමුළුවේදී ශ්‍රී ලංකාවේ කැපවීම. බොගෝටා, කොලොම්බියා / 2024 නොවැම්බර් 07, 08
දරුවන්ට එරෙහි හිංසනය තුරන් කිරීම සඳහා වන පළමු ගෝලීය අමාත්‍ය සමුළුවේදී ශ්‍රී ලංකාවේ කැපවීම.
බොගෝටා, කොලොම්බියා / 2024 නොවැම්බර් 07, 08
2024 නොවැම්බර් 07-08 දිනවල කොළොම්බියාවේ බොගෝටාහි පැවති, දරුවන්ට එරෙහි ප්රචණ්ඩත්වය පිටුදැකීමේ ඓතිහාසික පළමු ගෝලීය අමාත්‍ය සමුළුවට සහභාගී වීම සඳහා රටවල් 119 කින් නියෝජිතයන් 1400කට අධික සංඛ්‍යාවක් සමඟ ශ්‍රී ලංකාව ද එක්විය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සහ UNICEF සහයෝගීතාවයෙන් කොලොම්බියා හා සවිමත් රජයන් විසින් සම සත්කාරකත්වය දරන ලද මෙම සමුළුව දරුවන්ට හා නව යෞවනයන්ට එරෙහි සියලු ආකාරයේ ප්රචණ්ඩත්වයන් තුරන් කිරීම සඳහා ගෝලීය ප්රයත්නයන් කඩිනම් කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී.
කොලොම්බියානු ජනාධිපති Gustavo Petro Urrego විසින් මෙම සමුළුව නිල වශයෙන් විවෘත කරන ලද අතර දරුවන්ට එරෙහි ප්රචණ්ඩත්වය මූලික මානව හිමිකම් උල්ලංඝනය කරනවා පමණක් නොව ජාතීන් අතර සමාජ හා ආර්ථික සංවර්ධනයට බාධා පමුණුවන බව අවධාරණය කළේය. සෑම ආකාරයකින්ම ප්රචණ්ඩත්වය තුරන් කර එමඟින් ගෝලීය වශයෙන් ළමුන් හා නව යොවුන්වියේ දරුවන්ට වඩා දීප්තිමත් හා සුරක්ෂිත අනාගතයක් තහවුරු කිරීමට එක්වන ලෙස ඔහු ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටින ලදී.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා, ළමා හා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ හා පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සම්භාවනීය නියෝජිතයන් පිරිසක් සහභාගී වූහ. ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ මාර්ගෝපදේශකත්වය යටතේ වූ දූත පිරිසෙන් සහභාගීත්වය, ළමයින්ට හා නව යොවුන් වියේ දරුවන්ට එරෙහි ප්රචණ්ඩත්වය තුරන් කිරීමේ ගෝලීය න්‍යාය පත්‍රයට ශ්‍රී ලංකාවේ දැඩි කැපවීම අවධාරණය කරයි.
මෙහිදී ශ්‍රී ලංකාව විසින් සියලු දරුවන්ට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම සඳහා රටේ කැපවීම පිළිබිඹු කරන වැදගත් ප්‍රතිඥා මාලාවක් ලබාදෙන ලදී. මෙම ප්‍රතිඥාවට ඇතුළත් වන්නේ;
1. ශාරීරික දණ්ඩනය තහනම් කිරීම : නිවාස, පාසල් හා අනෙකුත් ආයතන ඇතුළුව සියලුම සැකසුම් තුළ ශාරීරික දණ්ඩනය තහනම් කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් 2025 මැදභාගය වනවිට පුළුල් නීතිමය රාමුවක් හඳුන්වා දෙනු ඇත. මෙම ආරම්භක පියවර දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන යහපත් මාපිය කටයුතු හා අධ්‍යාපනික පරිචයන් දිරිමත් කරනු ඇත.
2. සමාජ සේවා ප්‍රතිචාරය ශක්තිමත් කිරීම: 2026 වර්ෂය අවසානය වන විට ළමා හිංසනයට ප්‍රතිචාර දැක්වීමේදී සමාජ සේවා නිලධාරීන්ගේ භූමිකාවන් සහ වගකීම් ශ්‍රී ලංකාව විසින් පැහැදිලි කරනු ඇත. කාලෝචිත හා ඵලදායී මැදිහත්වීමක් තහවුරු කරනු පිණිස නිර්මාණය කර ඇති විශේෂිත පුහුණු වැඩසටහන් සහ ප්‍රතිචාරාත්මක නියමයන් ඊට සහාය වනු ඇත.
3. දිවි ගලවා ගත් අය සඳහා ළමා සංවේදී සේවා : ප්‍රචණ්ඩත්වයෙන් දිවි ගලවා ගත් අය සඳහා ශ්‍රී ලංකාව විසින් ළමා සංවේදී සේවා අඛණ්ඩව ස්ථාපිත කරනු ඇත. 2025 වර්ෂය වනවිට එක් පළාතක නියමු වැඩසටහනක් දියත් කෙරෙන අතර, 2027 වර්ෂය වනවිට ජාතික වැඩසටහනක් සැලසුම් කර ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් ළමුන් සඳහා පුළුල් රැකවරණය හා සහාය තහවුරු කෙරේ.
4. ආරක්ෂිත පාසල් බිහිකිරීම : අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2025 වර්ෂය මැද භාගය වනවිට පවතින ප්‍රතිපත්ති සංශෝධනය කර විනය සම්බන්ධ ධනාත්මක විධික්රම පිළිබඳ ගුරු පුහුණුව වැඩිදියුණු කරනු ඇත. ප්‍රචණ්ඩත්වයෙන් තොර සහ ඉගෙනීමට සහ සංවර්ධනයට හිතකර පාසල් පරිසරයක් නිර්මාණය කිරිමට මෙම මූලාරම්භය දායක වනු ඇත.
එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තිය යටතේ සිය වගකීම් ඉටු කිරීමට හා ළමුන් ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා කිරීමේ ගෝලීය ප්රයත්නයන් ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාව සිදුකරන කැපවීම මෙම ප්‍රතිඥා මඟින් පෙන්නුම් කෙරේ. මෙම සුවිශේෂී සමුළුවට ශ්‍රී ලංකාව සහභාගීවීමෙන් පෙන්නුම් කරනුයේ, සියලුම දරුවන් සඳහා සුරක්ෂිත සහ අභිවෘද්ධිය උදෙසා සවිබල ගැන්වෙන ලෝකයක් නිර්මාණය කිරීමේදී ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කිරීමට ඇති දැඩි අධිෂ්ඨානයයි.
ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා දරන ප්රයත්නයේ කොටසක් ලෙස, දරුවන්ගේ ආරක්ෂාව රජයේ ප්‍රමුඛතාවයක් ලෙස පවතින බව තහවුරු කරමින්, ශ්‍රී ලංකාව විසින් සිය ජාතික උපායමාර්ග, ගෝලීය ප්රමිතීන් හා මහා පරිචයන් සමඟ අඛණ්ඩව පෙළ ගස්වනු ඇත.