නවතම ප්‍රවෘත්ති
“සතුටින් යුත් වැඩ සැලසුම්කරණය, ජීවන සමබරතාව සහ ආකල්පමය වෙනස තුළින් විශිෂ්ට සේවා දායකත්වයක්” – ආතති කළමනාකරණ වැඩසටහන
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ සැලසුම් හා තොරතුරු තාක්ෂණ අංශය විසින් අමාත්‍යාංශ නිලධාරීන්ගේ වෘත්තීය හා පෞද්ගලික යහපැවැත්ම, ඵලදායීතාව සහ සේවා දායකත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් “සතුටින් යුත් වැඩ සැලසුම්කරණය, ජීවන සමබරතාව සහ ආකල්පමය වෙනස තුළින් විශිෂ්ට සේවා දායකත්වයක්” යන තේමාව යටතේ ආතති කළමනාකරණ වැඩසටහනක් 2026 අගෝස්තු 20 වන දින සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහන සඳහා අමාත්‍යාංශයේ නිලධාරීන් 80කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර, සේවා ස්ථානයේ ආතතිය හඳුනාගැනීම හා කළමනාකරණය කිරීම, කාර්යයන් වඩාත් සැලසුම් සහගතව හා සතුටින් ඉටු කිරීම, වෘත්තීය සහ පෞද්ගලික ජීවිතය අතර යහපත් සමබරතාවයක් පවත්වා ගැනීම සහ ධනාත්මක ආකල්ප තුළින් සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පිළිබඳව අවධානය යොමු කරන ලදී.
මෙම වැඩසටහනේ සම්පත් දායකයා ලෙස බිමල් යසන්ත රාජකරුණා මහතා සහභාගී වූ අතර, ඔහු ජ්‍යෙෂ්ඨ මානව සම්පත් පුහුණුකරුවෙකු ලෙසත්, පෞද්ගලික අංශයේ දීර්ඝ පළපුරුද්දක් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙසත්, ඵලදායී ව්‍යාපාරික සංස්කෘතියක් ගොඩනැගීම පිළිබඳ විශේෂ පළපුරුද්දක් සහිත සම්පත් දායකයෙකු ලෙසත් කටයුතු කරයි.
වැඩසටහන තුළින් නිලධාරීන්ගේ දෛනික කාර්යයන් වඩාත් ඵලදායීව සැලසුම් කිරීම, ආතතියට සාර්ථකව මුහුණ දීම, ධනාත්මක ආකල්ප වර්ධනය කිරීම සහ වෘත්තීය ජීවිතයේදී සතුටින් හා අරමුණු සහගතව කටයුතු කිරීම සඳහා ප්‍රායෝගික දැනුම හා අවබෝධය ලබාදෙන ලදී.
මෙවැනි වැඩසටහන් මඟින් සතුටින්, සෞඛ්‍ය සම්පන්නව හා ඵලදායීව කටයුතු කරන කාර්යමණ්ඩලයක් බිහිකිරීමටත්, එමඟින් මහජනතාව වෙත වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක රාජ්‍ය සේවාවක් ලබාදීමටත් දායක වීම අපේක්ෂා කෙරේ.

